top of page

පළමු නවකතාවෙන් ම ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකකට පාත්‍ර වූ ශ්‍රී ලාංකික ලේඛකයා



ශ්‍රී ලාංකික තරුණ ලේඛකයෙකුට ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකක් හිමි වී තිබේ.

එම සම්මාන අතරින් එකක් වන්නේ, ඇමෙරිකාවේ මුද්‍රණය කෙරුණු විද්‍යා ප්‍රබන්ධ අතරින් 2023 වසරේ හොඳ ම විද්‍යා ප්‍රබන්ධ නවකතාවට හිමි නෙබියුලා (Nebula) සම්මානය යි.

මෙහි සුවිශේෂත්වය වන්නේ, එම ලේඛකයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සිය පළමු විද්‍යා ප්‍රබන්ධ නවකතාවට මෙම සම්මානය හිමි වීම ය.

දෙවැන්න, ලේඛකයෙකුගේ පළමු මනඃකල්පිත (fantasy) නවකතාව වෙනුවෙන් පිරිනැමෙන ක්‍රෝෆෝඩ් (Crawford) සම්මානය යි. ඇමෙරිකාවේ ගෞරවයට පාත්‍ර වූ මෙම සම්මාන දෙක ම හිමි වී ඇත්තේ, 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්‍ර චන්ද්‍රසේකරගේ The Saint of Bright Doors කෘතියට ය.

The Saint of Bright Doors කෘතියේ අන්තර්ගතය

The Saint of Bright Doors යනු ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන වජ්‍ර චන්ද්‍රසේකර විසින් රචනා කරන ලද මනඃකල්පිත නවකතාවකි.

අද්භූත "දීප්තිමත් දොරවල්" සහිත ප්‍රබන්ධිත නගරයක, ප්‍රමුඛ පෙළේ ආධ්‍යාත්මික නායකයෙකු ඝාතනය කිරීමට කුඩා කාලයේ සිට ම පුහුණු වූ මිනිසෙකුගේ කතාව නවකතාවට වස්තු විෂය වී තිබේ.

මෙම නවකතාව "නූතන ජීවිතයේ ලෞකික අරගලවලට එරෙහිව දිව්‍යමය විප්ලවවාදීන්ගේ සහ ලෝකෝත්තර ඇදහිලි අතර ප්‍රබල ඝට්ඨනයක් නිර්මාණය කරන," බව කර්තෘවරයා වන වජ්‍ර චන්ද්‍රසේකර පවසයි. නෙබියුලා (Nebula) සහ ක්‍රෝෆෝඩ් (Crawford) සම්මාන

ඇමරිකාවේ විද්‍යා ප්‍රබන්ධ සහ ෆැන්ටසි ලේඛකයින්ගේ සංගමය (SFWA) විසින් වාර්ෂිකව Nebula සම්මාන පිරිනමනු ලබන්නේ, පෙර වසර තුළ ප්‍රකාශයට පත් කරන ලද හොඳ ම විද්‍යා ප්‍රබන්ධය හෝ ෆැන්ටසි ප්‍රබන්ධය සඳහා ය.

ඊට සුදුසුකම් ලබන්නේ, ඇමෙරිකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි කෘති පමණි.

ලෝකයේ වෙනත් රටවල ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද කෘතීන් වෙබ් අඩවියක හෝ විද්‍යුත් සංස්කරණයකින් නිකුත් කර ඇත්නම් ඒවා ද සුදුසුකම් ලබයි.

1966 වසරේදී ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ, 59 වන වරට ය.

William L. Crawford Fantasy Award හෙවත් Crawford Award යනු පෙර වර්ෂයේදී සිය ප්‍රථම ෆැන්ටසි කෘතිය ප්‍රකාශයට පත් කරන ලද ලේඛකයෙකුට පිරිනැමෙන සාහිත්‍ය සම්මානයකි.

එය ජාත්‍යන්තර කලාව සඳහා වූ ෆැන්ටාස්ටික් සංගමය (IAFA) විසින් පිරිනමන සම්මාන කිහිපයෙන් එකක් වන අතර සෑම මාර්තු මසක ම ඇමෙරිකාවේ ඔර්ලන්ඩෝහි පැවැත්වෙන ෆැන්ටාස්ට් ඉන් ආර්ට්ස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ප්‍රදානය කෙරේ.

එය 1985 වසරේදී ආරම්භ කෙරිණි.

2024 වසරේදී සම්මානය පිරිනමන ලද්දේ, ශ්‍රී ලාංකික ලේඛක වජ්‍ර චන්ද්‍රසේකරගේ The Saint of Bright Doors ප්‍රබන්ධය වෙනුවෙනි.

1 view0 comments

Comments


vishvavahini-logo_high_res-005-3.png
  • Facebook
  • Youtube
bottom of page