
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි දැනට ක්‍රියාත්මක ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම ඡන්ද කාර්යාල ඉවත් කිරීම අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසනවා. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට විවෘතව තැබිය හැකිවන්නේ සෑම දිස්ත්‍රික්කයට එක් ප්‍රධාන කාර්යාලයක් සහ සෑම පැරණි ආසනයක් සඳහා එක් කාර්යාලයක් පමණක් බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ. මීට පෙර පිහිටුවා තිබූ අනෙකුත් සියලුම කාර්යාල අදාළ අපේක්ෂකයන් විසින් ඉවත් කර ගත යුතු බවත්, ඔවුන් එසේ ඉවත් කර නොගතහොත් පොලිසිය මගින් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත්, ඔහු පවසනවා. සභාපතිවරයා මේ බව පවසා සිටියේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ජනාධිපතිවරණය පිලිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. එමෙන්ම ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථාන තුළ සහ ඒ අවට මැතිවරණ නීති කඩ කරන්නන්ට එරෙහිව දඩුවම් ලබාදෙන බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ අතර, ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 04.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රථිපල ලැබුණු පසු ඒවා මාධ්‍යට ලබා දීමට සියලු කටයුතු සකස් කර ඇති බවත්, ඔහු පවසනවා. එමෙන්ම නිල ප්‍රථිපලය ලැබෙනතෙක් නිල නොවන ප්‍රථිපල නිකුත් කිරීමෙන් වැලකි සිටින ලෙසට ද ඔහු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේ අතර, ජනාධිපතිවරණය සඳහා නිවැරදිව තම මනාපයක් සළකුණු කළ යුතු ආකාරය ද ඔහු එහිදී පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව, මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට තම ඡන්දයත් අනතුරුව තවත් අපේක්ෂකයන් දෙදෙනකුට දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇති අතර, එක් අපේක්ෂකයෙකුට පමණක්ද ඡන්දය ලකුණු කිරීමට හැකියාව තිබෙනවා.
එහිදී තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් එම අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් ඇති කොටසේ '1' ඉලක්කම ලකුණු කළ යුතු බව සඳහන්.අනතුරුව අංක '2' හා '3' ඉලක්කම් සලකුණු කර තමන් කැමති වෙනත් අපේක්ෂකයන්ට දෙවන හා තෙවන මනාප දැක්විය හැකි බව ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එක් අපේක්ෂකයෙකුට පමණක්ද සිය ඡන්දය ලකුණු කළ හැකියි.
ඉහත සඳහන් ආකාරයට හැර ඡන්දදායකයාගේ ඡන්දය දීමේ චේතනාව ඡන්ද පත්‍රිකාව මත කරනු ලැබූ යම් සලකුණකින් පැහැදිලිව පෙනෙන විට (උදාහරණයක් ලෙස 'X' පමණක් ලකුණු කර ඇති විට) එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙස සලකනු ලබන බව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන්.
එහිදී ප්‍රතික්ෂේප වනු ලබන මනාප ලෙස සළකනු ලබන්නේ,
කිසිම අපේක්ෂකයකුට ඡන්දය සලකුණු කර නොමැති විට;
එක් අපේක්‍ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට;
එක් අපේක්‍ෂකයකුට '1' හා තවත් අයෙකුට 'X' (කතිරය) සලකුණු කර ඇති විට;
දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇති විට;
ඡන්දදායකයා වන ඔබව හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇති විට;
'1 'හැර වෙනත් සලකුණක් සමඟ '2' සහ '3' මනාප සලකුණු කර ඇති විට;
1, 2, 3 ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට; යනුවෙන් සඳහන් වෙන්නේ.
Comments