top of page

විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්



5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වේ.

ඔවුන් ඉල්ලීම් කරන්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසය.

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිවුණි. මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසිය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ගෙන්වා ඇත.

එම ස්ථානයට පැමිණ සිටි දෙමාපියන් සඳහන් කර සිටියේ විභාග කොමසාරිස්වරයා මෙම ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇති බවත්, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය. මීට සමගාමීව අද ප්‍රදේශ කිහිපයකින් විරෝධතා වාර්තා වුණි.

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඉරිදා පැවති අතර ඊට අපේක්ෂකයන් 323,879ක් පෙනී සිටියහ. කෙසේවෙතත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් සිදුකළේ ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් පැමිණිලි ඉදිරිපත් වූ පසුබිමකය.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළේය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page