top of page

PAYE TAX: රටට අවශ්‍ය විද්වතුන් රටට අහිමි කරන බද්දක් ද?



ලෝකයේ ඕනෑ ම රටක පැවැත්ම උදෙසා බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ.

බදු ප්‍රතිපත්තියක් තුළ ඍජු සහ වක්‍ර බදු යනුවෙන් ප්‍රධාන වර්ග දෙකක් ක්‍රියාත්මක වෙයි. ලෝකයේ ඕනෑ ම රටක අඩුවැඩි වශයෙන් බදු ක්‍රියාත්මක වන අතර, එම බදු මුදල් නිසි පරිදි භාවිත කරමින් මහ ජනතාවට අවශ්‍ය සේවා නිසි පරිදි සැපයීම අපේක්ෂා කෙරේ.

බදු අය කරන්නේ ඇයි?

මහ ජනතාවට අවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් වැය වන මුදල් සපයා ගැනීම බදු අය කර ගැනීමේ මූලික අරමුණ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැහැදිලි කළේ ය.

'සාමාන්‍යයෙන් ඕන ම රටක රජයට විශේෂ කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය ඉෂ්ට කිරීමේදී රජයට මුදල් අවශ්‍ය යි. ඒ මුදල් සපයා ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදය තමයි, බදු හරහා මුදල් එකතු කර ගැනීම. මහ ජනතාව රජය විසිනු සපයනු ලබන විවිධ සේවා භුක්ති විඳිනවා. රජය සපයන්නෙ නැති භාණ්ඩ හා සේවා ගන්නකොට අපි මුදල් ගෙවනවා. නමුත් රජය මගින් නොමිලේ සපයන අධ්‍යාපනය, සෞඛ්‍යය, මාර්ග, යටිතල පහසුකම් වගේ සේවාවන්ට අමතරව, ආර්ථික සංවර්ධනය, විවිධ ඉදිකිරීම්, වැටුප් ගෙවීම් වගේ දේවල්වලට ආණ්ඩුවට මුදල් අවශ්‍ය යි. ඒවාට අවශ්‍ය මුදල් සොයා ගන්නේ බදු ප්‍රතිපත්තියක් හරහා තමයි. මහ ජනතාව බදු ගෙවන්නේ, ඔවුන්ට ලැබෙන සේවා නිසියාකාරයෙන් ලැබෙන නිසා,' මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය. ශ්‍රී ලංකාවේ අලුත් බදු හරහා මතු වූ තත්ත්වය

ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය 2023 වසරේදී 300%කින් පමණ ඉහළ ගියේ ය.

2023 ජනවාරි මස 01 වන දා සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් රජය ශ්‍රී ලාංකිකයින්ගේ උපයන විට ගෙවීමේ බද්දෙහි (PAYE Tax) තීරණාත්මක හා සැලකිලියුතු වෙනස් කමක් සිදු කරන ලදී.

ආර්ථික අර්බුදයෙන් පසු ඉහළ නංවන ලද මෙම බදු ක්‍රමවේදයේ නව වෙනස්කම් සදහා දැවැන්තම විරෝධය එල්ල වුයේ වෘත්තිකයින්ගෙනි.

මෙමගින් මසකට රුපියල් 100,000ට වඩා උපයන සියල්ලන්ට 6% සිට 36% දක්වා උපයන විට ගෙවීමේ බද්දක් ගෙවීමට සිදුවේ.

මෙහිදී, රුපියල් 100,000 සිට රුපියල් 200,000 දක්වා ගෙවිය යුතු බදු මුදල යම් දැරිය හැකි ස්වභාවයක් පවතී.

‘බදු ගෙවන්නන්ට කිසිදු සහනයක් නෑ’

මීට පෙර ක්‍රියාත්මක වූ ආදායම් බදු ක්‍රියාවලිය යටතේ බදු ගෙවන්නන් යම් යම් සහන සලසා තිබිණි.

උදාහරණයක් ලෙස බදු ගෙවන්නෙකු නිවාස ණයක් ලබාගෙන ඇත්නම් එවැනි අවස්ථාවකදී ගෙවන ලද බදු යම් කොන්දේසිවලට යටත්ව ආපසු ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක විය.

ඊට අමතරව, සූර්ය බල ශක්තිය ලබා ගැනීමට ණයක් ලබාගෙන ඇති විට එම මුදල බදු මුදලෙන් නිදහස් කිරීමක් ද සිදු කෙරිණි.

එහෙත්, නව උපයන විට බදු ක්‍රමය යටතේ බදු ගෙවන කිසිවෙකුට කිසිදු සහනයක් හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බව අප කළ විමසුමකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියෙකුගෙන් දැනගන්නට ලැබිණි.

මීට අමතරව, රජයේ සම්පත් පාවිච්චි නොකර පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියෝ ද මෙම බදු ක්‍රමය ගැන චෝදනා කරති.

‘අපි අධ්‍යාපනයටත් වියදම් කරනවා රජයට බරක් නොවී. බදුත් ගෙවනවා. මේක හරි ම අසාධාරණ යි. අඩු තරමින් රජයට බරක් නොවී අපි ළමයින්ට උගන්වන එකටවත් බද්දෙන් සහනයක් දෙන්න ඕන,’ පානදුර ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකුගේ පියෙක් පැවසීය. මේ අතර, බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ 'නව උපයන විට බද්දෙන් බැට කන' වෘත්තිකයින් බොහෝ දෙනෙකු පැවසුවේ, රටේ පැවැත්ම වෙනුවෙන් වෘත්තිකයන් ලෙස යම් සාධාරණ බද්දක් ගෙවීමට කිසිසේත් විරුද්ධ නොවන බව ය.

එහෙත්, මාසික වේතනයෙන් විශාල කොටසක් අහිමි කරන මෙම බදු ක්‍රමය ඉතා අසාධාරණ බව ඔවුහු පවසති.

‘රටේ පැවැත්ම වෙනුවෙන් සහ ජනතාවගේ ශුභසාධනය වෙනුවෙන් යම් බද්දක් ගෙවිය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒත් ඒ බදු ක්‍රමය කොයිතරම් සාධාරණ ද කියලා හිතන්න වෙනවා,’ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න බීබීසී සිංහල වෙත පැවසීය.

‘රටට අවශ්‍ය විද්වතුන් රටට අහිමි කරන බද්දක්’

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් හැරුණුවිට රුපියල් ලක්ෂ 300,000 ඉක්මවා මාසික වේතනයක් ලබන්නන් ඇත්තේ, සාපේක්ෂව සුළු පිරිසකි.

එවැනි වේතනයක් ඔවුන් ලබන්නේ, යම් ක්ෂේත්‍රයක් වෙනුවෙන් වසර ගණනාවක පළපුරුද්දක්, අධ්‍යයනයක් කිරීමෙන් ලැබූ විශේෂඥභාවයේ වටිනාකමක් නිසා ය.

එවැන්නන්ගෙන් අධික බදු ගැනීම ඔවුන්ට රට අතහැර යාමට දිරි ගන්වන අමනෝඥ ක්‍රියාවක් බව වෘත්තිකයෝ පවසති.

‘මගේ ක්ෂේත්‍රය ගත්තොත් ආචාර්ය උපාධියක් අර ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර ගත වෙනවා. ඉතින් අවුරුදු 10ක විතර දීර්ඝ කාලයක් ලොකු කැප කිරීමක් කරලා විශ්වවිද්‍යාලයක යම් වැටුපක් ගන්න කෙනෙකුට තමන්ගේ වැටුපෙන් බාගයක් විතර ආපහු රජය කපා ගන්නවා නම් බදු විදිහට එයාට හිතෙන්නෙ නෑ රටේ ඉන්න. ගොඩක් අය කියන්නේ බදු නිසා ම රට දාලා ගියා කියලා. ඉතින් මේ අධික බදු නිසා රට දාලා යන්නේ රටට අත්‍යවශ්‍ය වෘත්තිකයින් පිරිසක්. ඔවුන් රටෙන් ගියා ම මේ රටේ අනාගතයට මොක ද වෙන්නේ? මේ වටිනා වෘත්තිකයින්ට ලෝකයේ ගොඩක් රටවලින් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මේ වෘත්තිකයින් රැක ගන්න නම් මේ අසාධාරණ බදු ක්‍රමය නතර කළ යුතු ම යි,’ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න පෙන්වා දුන්නේ ය.

‘වෛද්‍යවරයෙකුගේ මාස 12 වැටුපෙන් මාස තුනක විතර වැටුප් බදු විදිහට කපා ගන්නවා’

‘2023 ජනවාරි මාසයේ පළවෙනි දා ඉදල පටන් ගත්ත මේ උපයන විට බද්ද වෛද්‍යවරු ඇතුළු මේ රටේ වෘත්තිකයින් සෑම දෙනෙකුට ම ලොකු ප්‍රශ්නයක්. අපි කිසි ම අවස්ථාවක කියන්නෙ නෑ බදු ගෙවන්න බැහැ කියලා. හැබැයි ඒක ගෙවන්න පුළුවන් සාධාරණ බද්දක් වෙන්න ඕන. මාසික වේතනයෙන් විශාල මුදලක් කපා ගන්නකොට රජය හිතන්නෙ නෑ ප්‍රවාහන ඇතුළු අපේ වියදම් විශාල වශයෙන් ඉහළ ගියා පසුගිය කාලය තුළ කියන එක. වෛද්‍යවරයෙකු මාස 12ට ගන්න වැටුපෙන් මාස තුනක විතර වැටුප් බදු විදිහට කපා ගන්නවා,’ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, මීට පෙර පැවති බදු ප්‍රතිපත්තිවල මාසික වැටුප් ගන්නා සේවකයින් වෙනුවෙන් යම් සහනදායී බදු ක්‍රමයක් ක්‍රියාත්මක වූ බව ය.

එහෙත්, නව ක්‍රමය යටතේ මාසික වැටුප් ලබන්නන්ට කිසිදු සහනයක් ලබා දී නැතැයි ඔහු චෝදනා කළේ ය.

උපයන විට ගෙවීමේ බද්ද 2022 වසරට සාපේක්ෂව 500%කින් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

‘උපයන විට බද්ද 2023 ඉලක්කය වුණේ රුපියල් බිලියන 100 යි. හැබැයි 144ක් එකතු වෙලා තියෙනව අවුරුද්ද ඉවර වෙනකොට. එතකොට එතනින් ම පේනවා ආණ්ඩුවේ ඉලක්ක ඉක්මවලා ආදායම් 145%කින් වැඩි වෙලා තියෙනවා. ඊට පෙර බදු වර්ෂයට සාපේක්ෂව ගත්තා ම උපයන විට ගෙවීමේ බද්ද 500%ක වැඩි වීමක් තියෙනවා.’

‘රටේ ආර්ථිකය කඩා වැට්ටුවේ අපි නෙවෙයි’

මෙරට ආර්ථිකය කඩා වැටීමට හේතු වූයේ දේශපාලකයින් මිස වෘත්තිකයින් නොවන බවත්, එහෙත්, එහි විපාකවලින් පීඩාවට පත්ව ඇත්තේ, වෘත්තිකයින් බවත් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

වෘත්තිකයින් සම්බන්ධ වෘත්තීය සමිති 45ක් පමණ මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

‘මේ බදු ප්‍රතිපත්තිය වහා ම නතර කළ යුතු යි. නැත්නම් මේ රටට අත්‍යවශ්‍ය වෘත්තිකයින් විශාල පිරිසක් රටට අහිමි වෙන එක අනිවාර්යයෙන් ම සිද්ධ වෙනවා. රට හදන්න නම් දේශපාලකයන්ට වඩා රටට අවශ්‍ය වෙන්නේ දක්ෂ වෘත්තිකයෝ. ඒක තේරුම් ගත යුතු යි.’

6 views0 comments

Comments


vishvavahini-logo_high_res-005-3.png
  • Facebook
  • Youtube
bottom of page