top of page

ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

සිංහල සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දශක පහකට අධික කාලයක් නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීන රංගන ශිල්පී, අධ්‍යක්ෂ සහ ලේඛක කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 84 වන වියේ පසුවූවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. 1941 පෙබරවාරි 11 වැනිදා කැලණියේදී උපත ලැබූ සතිස්චන්ද්‍ර මහතා, පවුලේ හයවන දරුවා ලෙස මෙලොව එළිය දුටුවා. ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මොහුගේ බාල සොහොයුරායි.

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබූ ඒ මහතා, වේදිකා නාට්‍ය හරහා සිය කලා ගමන ආරම්භ කළා. ඔහු සිය වේදිකා නාට්‍යය දිවිය ආරම්භ කරනු ලබන්නේ ඔහුගේ වැඩිමහල් සොයුරා වන ධර්මසිරි එදිරිසිංහ විසින් 1961 වසරේදී කළාගුරු ජේ.ඩී.ඒ පෙරේරා හඳුන්වාදීමෙන් පසුවයි.

1965 දී හෙන්රි ජයසේනයන්ගේ මනරංජන වැඩවර්ජන වේදිකා නාට්‍ය හරහා සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සිය සුවිශේෂී රංගන ප්‍රතිභාව විදහා දක්වනු ලැබුවා. අඹු දරුවෝ, අරවින්ද සහ ඉන්දු, ගව්වෙන් ගව්ව, කඩතිර, පළිඟු මැණිකේ ඇතුලු ටෙලි නාට්‍ය ගණනාවකට ඔහු සිය රංගන දායකත්වය ලබාදුන්නා.

1999 වසරෙන් පසු සිය පූර්ණ කාලීන කළාදිවිය අරඹන සතිස්චන්ද්‍ර එදිරිසිංහ වේදිකා නාට්‍ය නලුවෙකු ලෙස ඔහුගේ උච්චතම අවස්ථාවට පැමිණියේ ජෝන් ද සිල්වා නම් නාට්‍ය ශිල්පියාගේ වෙස්සන්තර වේදිකා නාට්‍ය හරහායි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page