2026 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවතට
- News Room
- Jan 25
- 1 min read

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තය ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබෙනවා.
ආරක්ෂක හේතූන් මත තම කණ්ඩායම ඉන්දියාවට එවීමට බංග්ලාදේශ ක්රිකට් ආයතනය (BCB) දිගින් දිගටම ප්රතික්ෂේප කිරීම හේතුවෙන්, සති තුනක පමණ කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ.
බංග්ලාදේශය ඉල්ලා සිටියේ තම කණ්ඩායමේ තරග ඉන්දියාවෙන් බැහැර ව ශ්රී ලංකාවට ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත්, තරගාවලිය ආරම්භ වීමට මෙතරම් කෙටි කලක් තිබියදී කාලසටහන වෙනස් කිරීම ප්රායෝගික නොවන බවත්, ඉන්දියාව තුළ කණ්ඩායම්වලට කිසිදු විශ්වාසනීය ආරක්ෂක තර්ජනයක් නොමැති පසුබිමක එවැනි වෙනසක් කිරීම අනාගතයේදී වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවයි අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය පෙන්වා දී තිබුණේ.
ඒ අනුව 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ 'C' කාණ්ඩය යටතේ බංග්ලාදේශය ක්රීඩා කිරීමට නියමිත ව තිබූ තරග සඳහා ස්කොට්ලන්තය ක්රීඩා කරන බවයි Cricinfo වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.
ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ බංග්ලාදේශ වේග පන්දු යවන ක්රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ව නිදහස් කරන ලෙස ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය (BCCI) ජනවාරි 3 වන දා දැනුම් දීමත් සමඟ මෙම මතභේදාත්මක තත්ත්වය හට ගැනීමට හේතු වී තිබුණා.




Comments