ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලැබෙන තෙක් බලාසිටින ඉන්දියාව
- News Room
- 6 days ago
- 1 min read

මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් අවහිර කරන ලද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට ගමන් කිරීමට අවස්ථාව ලබා ගැනීම සඳහා ඉරානය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි.
පුවත්පතකට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉරානය සමඟ සිදුකළ සාකච්ඡා දැනටමත් යම් යම් සුබවාදී ප්‍රතිඵල ලබා දී ඇති බවය.
කෙසේ වෙතත්, සියලුම ඉන්දීය නෞකා සඳහා මෙතෙක් පොදු අවසරයක් හිමිව නොමැති බවත්, එක් එක් අවස්ථාවන්හිදී සිදුකරන සාකච්ඡා මත පදනම්ව නෞකාවලට අවසර හිමිවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සාකච්ඡාවල ප්‍රගතියක් ලෙස ඉන්දීය ධජය සහිත ගෑස් ප්‍රවාහන නෞකා දෙකක් පසුගිය සෙනසුරාදා හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට සමත් විය. තවත් ඉන්දීය නෞකා 22ක් අවසර ලැබෙන තෙක් රැඳී සිටියි.
පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් පසු මැදපෙරදිග යුද්ධය ඇවිළී ගිය අතර, ඉරානය විසින් මෙම වැදගත් නාවික මාර්ගය සම්පූර්ණයෙන්ම පාහේ වසා දමන ලදී. ඉන්දියාවේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 40-50%ක් පමණ ප්‍රවාහනය වන්නේ මෙම මාර්ගයෙනි.
දැනටමත් ඉන්දියාව තුළ ඉවුම් පිහුම් ගෑස් හිඟයක් ඇතිවී තිබීම හේතුවෙන් ජනතාව භීතියට පත්ව සිටින අතර ඇතැම් ආපනශාලා පවා වසා දමා ඇත.




Comments