top of page

මැදපෙරදිග මිලිටරි මෙහෙයුම් අවසන් කිරීමට සලකා බලමින් සිටින බව ට්‍රම්ප් කියයි

මැදපෙරදිග කලාපයේ සිදුකරන මිලිටරි මෙහෙයුම් "අවසන් කිරීම" (winding down) පිළිබඳව එක්සත් ජනපදය සලකා බලමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා තිබෙනවා.

"ඉරානයේ ත්‍රස්තවාදී පාලනයට එරෙහිව මැදපෙරදිග අප දියත් කළ දැවැන්ත යුද මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳව සලකා බලන විට, අපගේ අරමුණු සපුරා ගැනීමට ඉතා ආසන්නව සිටිනවා," යැයි ජනාධිපතිවරයා Truth Socialහි සටහන් කර ඇති බව CNN පුවත් සේවය සඳහන් කරනවා.

එහිදී ඔහු ඉරානයේ මිසයිල හැකියාව අඩපණ කිරීම සහ එරට ගුවන් හා නාවික හමුදාවන් විනාශ කිරීම ඇතුළු ඉලක්ක ලැයිස්තුවක් ද පෙන්වා දී තිබෙනවා.

"හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිත කරන අනෙකුත් ජාතීන් විසින් අවශ්‍ය පරිදි එහි ආරක්ෂාව සහ මුර සංචාර කටයුතු සිදු කළ යුතුයි. එක්සත් ජනපදය එය භාවිත කරන්නේ නැහැ! ඉල්ලීමක් කළහොත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ කටයුතු සඳහා අපි එම රටවලට උදව් කරන්නෙමු, නමුත් ඉරාන තර්ජනය තුරන් කළ පසු එය අවශ්‍ය නොවනු ඇත. වැදගත්ම දෙය නම්, එය ඔවුන්ට ඉතා පහසු මිලිටරි මෙහෙයුමක් වනු ඇත," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ධවල මන්දිරයෙන් පිටව යන අවස්ථාවේදී ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට පැවසුවේ, ඉරානය සමග පැවති යුද්ධයෙන් එක්සත් ජනපදය "ජයග්‍රහණය" කර ඇති බව තමා විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත්, ඉරානය සමග යුද්ධය සිව්වන සතියට එළඹෙත්ම, තවත් දහස් සංඛ්‍යාත අමෙරිකානු මැරීන් භටයින් සහ නාවිකයින් මැදපෙරදිග බලා ගමන් කරමින් සිටින බව අමෙරිකානු නිලධාරීන් CNN පුවත් සේවයට පවසා තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page