ශිරන්ති රාජපක්ෂ අද FCID කැඳවයි
- News Room
- Jan 27
- 1 min read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. අද (27) පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය සිකුරාදා දිනයේ මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් පුද්ගලික හේතූන් මත තමන්ට අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ සිය නීතිඥ කණ්ඩායම මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට පෙර තමන්ට සති දෙකක සහන කාලයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටින බවයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ 'සිරිලිය' නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සඳහන් කළේය.
යහපාලන ආණ්ඩු සමයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පළමුවරට විමර්ශන ආරම්භ කරනු ලැබීය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඊයේ (26) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින අතරතුර ඊයේ පෙරවරුවේ මෙම දැනුම්දීම සිදුකර ඇති බවය.




Comments