ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට: දකුණු ආසියාවේ දෙවන තැනට
- News Room
- 14 hours ago
- 1 min read

2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 14ක් ඉදිරියට පැමිණ ගෝලීය වශයෙන් 67 වන ස්ථානය ලබා ගෙන තිබේ.
ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ආයතනය විසින් රටවල් තුළ පවතින ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර හා බාහිර ගැටුම් මට්ටම් ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කරනු ලබයි.
2026 වර්ෂය ගෝලීය සාමකාමීත්වය අඛණ්ඩව පිරිහුණු 12 වන වර්ෂය ලෙස අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. ලෝකයේ සාමකාමීත්වය පසුගිය වර්ෂයට වඩා මෙවර සියයට 0.7කින් පිරිහී ඇති බව වාර්තා වේ.
2008 වර්ෂයේ සිට මෙම ගෝලීය සාම දර්ශකය ප්‍රකාශයට පත් කරන අතර එම වර්ෂයේ පැවති තත්ත්වයට වඩා රටවල් 119ක් අඩු සාමකාමී මට්ටමට පත්ව ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.
ගෝලීය සාම දර්ශකයේ පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර නවසීලන්තයට දෙවන ස්ථානයත් ස්විට්සර්ලන්තයට තෙවන ස්ථානයත් හිමිව තිබේ. රටවල් 163ක් අතරින් ලෝක සාම දර්ශකයේ අවසන් ස්ථානයට රුසියාවට හිමිව ඇති අතර 162 වන ස්ථානය සුඩානයට හිමිව ඇති බව සඳහන්ය.
පසුගිය වසරට සාපේක්ෂව රටවල් 99ක් සාමකාමීත්වයෙන් පහත වැටී ඇති අතර රටවල් 62ක් සාමකාමීත්වය ඉහළ දමා ගැනීමට සමත්ව තිබේ. දකුණු ආසියානු කලාපයේ වැඩිම සාමකාමීත්වයේ ප්‍රතිශතයක් වාර්තා කිරීමට මෙවර ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර එය සියයට 2.3ක වර්ධනයක් බව වාර්තා වේ.
ගෝලීය සාම දර්ශකයේ දකුණු ආසියානු කලාපයේ පෙරමුණ ගැනීමට භූතානය සමත්ව සිටින අතර එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. දකුණු ආසියානු කලාපයේ අවම සාමකාමීත්වයක් ඇති රට ලෙස ඇෆ්ගනිස්ථානය පත්ව ඇති අතර ඉන්දියාව එම කලාපයේ පස් වන ස්ථානයේ පසුවේ.




Comments