top of page

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින චරිත් අබේසිංහ, 'බහුජන බලය' සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, බහුජන බලයේ ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි සඳහන්.

චරිත් අබේසිංහට එරෙහිව මතුව ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සැලකිල්ලට ගනිමින් බහුජන බලය සංවිධානය මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා,

බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය විමර්ශන ආරම්භ වී තිබීම, එම චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කර තිබීම, මෙම තත්ත්වය හමුවේ බහුජන බලය සංවිධානයේ කීර්තිය, විශ්වසනීයත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීමේ දැඩි අවශ්‍යතාව මතු වීම සහ යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ දූෂණයට එරෙහි ස්ථාවර ප්‍රතිපත්තියක් අනුගමනය කරන සංවිධානයක් ලෙස සිය මූලධර්ම ආරක්ෂා කිරීම යන කරුණු මූලික වී තිබෙනවා.

මෙම තීරණය ඔහු වරදකරු බවට පූර්ව නිගමනය කිරීමක් නොවන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇති අතර, අධිකරණයේ අවසන් තීන්දුව ලැබීමට පෙර, සංවිධානයේ ගෞරවය සහ මහජන විශ්වාසය සුරැකීම උදෙසා ගනු ලැබූ පරිපාලනමය තීරණයක් පමණක් බව බහුජන බලය පෙන්වා දෙනවා.

දේශපාලනය යනු පුද්ගල ප්‍රතිරූප ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නොව මහජන විශ්වාසය සුරැකීමේ වගකීමක් බව විශ්වාස කරන බව පවසන එම සංවිධානය, පුද්ගල ජනප්‍රියත්වය හෝ තනතුර කුමක් වුවද සංවිධානයේ මූලධර්මවලට පටහැනි ක්‍රියාවලදී විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද සඳහන් කරනවා.

"නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි" යන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය ප්‍රායෝගිකව තහවුරු කිරීම රජයේ මෙන්ම සියලු දේශපාලන සංවිධානවල වගකීමක් බව බහුජන බලය එම නිවේදනය මගින් අවධාරණය කර සිටිනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page